රජයේ  නිලධරයන්ට  තීරණ  ගැනීමේදී  අභිමතානුසාරී  බලයක්  තිබේද ? 

FR  /  674  /  97  කියන්නෙ  තීරණ  ගන්නා  සියලුම  රජයේ  නිලධරයන්  මැනවින්  කියවා  අවබොධ  කර  ගත  යුතු  අතීශයින්  වැදගත්  ශ්‍රේෂ්ඨාධිකරණ  මූලික  අයිතිවාසිකම්  පිළිබඳ   නඩු  තීන්දුවක් .  මෙය  විනය  නියෝගයකට  අදාලයි . මා  මෙම  පෝස්ටුව  ඉදිරිපත්  කරන්නෙ  එම  නඩු  තීන්දුව  ආශ්‍රයෙන්  බව  පළමුවෙන්ම  සඳහන්  කරනවා .  

මෙම  නඩු  තීන්දුව  ලබා  දී  ඇත්තේ  මාක්  ප්‍රනාන්දු ,  වීරසේකර  හා  ඉස්මායිල්  යන  ගෞරවනීය  ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු  තුමන්ලා  විසින් .

මෙහි  පෙත්සම්කරු  වී  ඇත්තේ  අධිකරණ  අමාත්‍යාංශයේ  ලේකමිවරයාගේ  විනය  බලධාරිත්වය  යටතේ  සේවය  කළ   
AK  නන්දදාස  නමැති  ලිපිකරු  මහතෙක් .  මෙහි  වගඋත්තරකරුවන්  15  දෙනෙකු  සිටිනවා .1  වැනි  වගඋත්තරකරු  එවකට  අධිකරණ  අමාත්‍යාංශයේ  ලේකම්  
 MS  ජයසිංහ  මහතායි . 3  වැනියා  විනය  පරීක්ෂණ  නිලධාරී  S .  පතිරගේ  මහතායි .
5 වැනියා  නීතිපතිවරයායි . 6  වැනියා  එවකට  රාජ්‍ය  සේවා  කොමිශන්  සභාවේ  සභාපති  තිස්ස  දේවේන්ද්‍ර  මහතායි . 15  වැනියා  එම  කොමිශන්  සභාවේ  ලේකම්  HDL  ගුණවර්ධන  මහත්මියයි .  මේ  හැර  එම  කොමිශන්  සභාවේ  අනෙක්  සාමාජිකයන්  හා  තවත්  රාජ්‍ය  නිලධාරීන්  කීප  දෙනෙක්   අනෙක්  වගඋත්තරකරුවන්  වශයෙන්  නම්  කර  තිබෙනවා .

අදාල  විනය  නියෝගය  නිකුත්  වී  ඇත්තේ  වර්තමානයේ  භාවිතා  වන  ආයතන  සංග්‍රහයේ 2  වැනි  කාණ්ඩය  නිකුත්  කිරීමට  පෙර  පැවති  2  වැනි කාණ්ඩය  යටතේයි .

ප්‍රස්තුත  සිදුවීම  මම  කෙටියෙන්  සඳහන්  කරන්නම් .  මතුගම  දිසා  අධිකරණයේ  ලිපිකරුවෙකු  වූ  නන්දදාස  එහි  විභාග  වූ  නඩුවකට  අදාල  තහනමි  නියෝගයක්  ක්‍රියාවට  නැංවීම  පිළිබඳව  අධිකරණයේ  සාක්ෂි  දෙනවා . එම  සාක්ෂිය  එහි  පැමිණිලිකරු  වන  සිරිපාල  නමැත්තාට  වාසිදායක  වූවක්  නොවෙයි .  ඉන්පසු  මතුගම  බස්  නැවතුම්පොලේදී  සිරිපාල  විසින්  නන්දදාසට  තර්ජනය  කරනවා  ඔහු  බොරු  සාක්ෂියක්  දුන්  බවට  හා  ඔහු  විසින්  තම  රාජකාරි  ඉටු  කිරීම  සඳහා  රු :   200 /= ක  අල්ලසක්  ලබා  ගත් බවට  පැමිණිල්ලක්  කරන  බවට . නමුත්  ඔහු  එම  අවස්ථාවේ   අධිකරණයට  හෝ  අල්ලස්  කොමසාරිස්ට  හෝ  වෙනත්  බලධරයෙකුට  හෝ  එවැනි  පැමිණිල්ලක්  කරන්නෙ  නැහැ .  ඊට  මාස  තුනකට  පසු  මතුගම  පැවති  ජනාධිපති  ජංගම  සේවයේදී  මේ  පිළිබඳව  සිරිපාල  විසින්  ලිඛිත  පැමිණිල්ලක්  ඉදිරිපත්  කරනවා .  එහි  ප්‍රථිපලයක්  වශයෙන්  අල්ලස්  කොමසාරිස්  විසින්  විමර්ශණයක්  පවත්වා  කොළඹ  මහෙස්ත්‍රාත්  උසාවියේ  නන්දදාසට  විරුද්ධව  අල්ලස්  නඩුවක්  පවරනවා . ඔහුට  එරෙහිව  චෝදනා  දකක්  නඟනවා .  එම  චෝදනා  පහතින්  දක්වනවා .

1 .  රජයේ  නිලධරයෙකු  වශයෙන්  තමන්ගේ  රාජකාරි  කටයුතු  ඉටු  කිරීමේදී  1991 . 07 . 22  වැනි  දින  අල්ලසක්  ලබා ගැනීම  හා  සිරිපාල  නමැති  අයගෙන්  රු : 200 /=  ක්  ලබා  ගැනීම .

2 . අල්ලස්  පනතේ  පිළිවෙලින්  19  B  හා  19  C  වගන්ති  යටතේ   දඬුවම්  ලැබිය  හැකි  වරදක්  සිදු  කිරීම .

ඉන්පසු    අධිකරණ  මාත්‍යාංශයේ  ලේකම්  විසින්  1993 . 11 . 08  වැනි  දින ,  ආයතන  සංග්‍රහයේ   2  වැනි  කාණ්ඩයේ  48  වැනි  පරිච්ඡේදයේ  විධිවිධාන  පරිදි ,  වැටුප්  රහිතව  නන්දදාසගේ  වැඩ  තහනම්  කරනු  ලබනවා .

චූදිත  නන්දදාස  අංක  1  දරණ  චෝදනාවට  වැරදිකරු  බවටත් ,  අනෙක්  චෝදනාවට  නිවැරදිකරු  බවටත්   1994 . 08 . 25  වැනි  දින  මහේස්ත්‍රාත්  අධිකරණය  තීරණය  කරනවා . ඉන්පසු   නන්දදාස  විසින්  ඉදිරිපත්  කරන  ලද   අභියාචනයක්  විභාග  කළ  අභියාචනා  අධිකරණය  අංක 1  දරණ  චෝදනාවෙන්ද  නන්දදාස  නිදහස්  කරනවා . ඉන්පසු  තමන්  නැවත  සේවයේ  පිහිටවන  ලෙස  ඔහු  විසින්  කරන  ලද  ඉල්ලීමක්  මත  1995 . 11 . 24  දිනැති  ලිපියකින්   නන්දදාස  සේවයේ   පිහිටවීමට  අධිකරණ  අමාත්‍යංශයේ  ලේකම්  ක්‍රියා  කරනවා . නමුත්  ඔහුගේ  හිඟ  වැටුප්  ගෙවනුයේ  ඔහුට  එරෙහි  විනය  පරීක්ෂණය  නිම  වීමෙන්  පසුව  එහි  තීරණය  සලකා  බලා බවට  වන  කොන්දේසියකට  නන්දදාස  යටත්  කරනවා .  එවැනි  විනය  පරීක්ෂණයක්  පැවැත්වීම  අයෙතන  සංග්‍රහයට  අනුරූපයි . ඒ  අනුව  1996 . 03 . 19  වැනි  දින  චෝදනා  හතරකින්  යුක්ත  1  වැනි  උපලේඛනය  යටතේ  වන  චෝදනා  පත්‍රයක්  එම  ලේකම්වරයා  විසින්  නන්දදාස  වෙත  නිකුත්  කරනවා .

3  වැනි  වග  උත්තරකරු  වන  S  පතිරගේ  එහි  විනය  පරීක්ෂණ  නිලධාරී  වශයෙන්  ක්‍රියා  කර  තිබෙනවා .   ඔහුගේ  තීරණය  නන්දදාසට  දැනගන්ට  ලැබෙන්නේ  නැහැ . නමුත්  එම  විනය  පරීක්ෂණයේදී  අනාවරණය  වූ  කරුණු  මත   චූදිත  නිලධාරී  නන්දදාස  සියලු  චෝදනාවන්ට  වැරදිකරු  බවත් ,  ඒ  අනුව  ඔහුට  දඬුවම්  දෙකක්   පමුනුවන  බවත්  එම  ලේකම්වරයා  විසින්  1997 . 05 . 27  වැනි  දින  නන්දදාසට  ලිපියක්  මගින්  දැනුම්  දෙනවා .  එම  දඬුවම්  තමයි වැඩ  තහනම්  කාලයට  අදාල  හිඟ  වැටුප්  නොගෙවා  අත්හිටවීම  හා  අවවාද  කිරීම .

මෙම  විනය  නියෝගයට  එරෙහිව  නන්දදාස  විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයට  මූලික  අයිතිවාසිකම්  පෙත්සමක්  ඉදිරිපත්  කරනවා .  ඒ  සඳහා  Leave  to  proceed  අවස්ථාව  ලබා  දීමෙන්  පසු  කරුණු  විමසා  බලා ,  ගරු  අධිකරණය  නන්දදාසට  උපදෙස්  දෙනවා  රාජ්‍ය  සේවා  කොමිශන්  සභාව  වෙත  අභියචනයක්  ඉදිරිපත්  කරන  ලෙසට .  එවැනි  අභියාචනයක්  ඉදිරිපත්  කළ  යුතු  මාස  තුනක  කාලය  ඒ  වන  විට  ඉකුත්  වෙලා .  නමුත්  අධිකරණ  නියෝගය  පරිදි  නන්දදාස  විසින්  රාසේකොස  වෙත 1998 . 08 . 26  වැනි  දින   එම  අභියාචනය  ඉදිරිපත්  කරනවා . 1998 . 10 . 15  වැනි  දින  රාසේකොස  විසින්  අභියාචනයේ  ඇති  ඌනතා   දැනුම්  දෙමින්  නන්දදාසට  පිළිතුරු  ලිපියක්  එවනවා . එම  කරුණු  බොහොමයක්  එතරම්  වැදගත්  කමක්  නැති  තාක්ෂණික  කරුණු .  වසරක  පමණ  කාලයක්  ගත  වීමෙන්  පසු  1999 . 09 . 08   වැනි  දින  15  වැනි  වගඋත්තරකාර ,  රාසේකොස  ලේකම්වරිය  විසින්  එහි  තීරණය  ලිඛිතව  දන්වා  එවනවා  අභියාචක  නන්දදාස  වෙත . ඒ  අනුව  වැඩ  තහනම්  කාලයට  අදාල  හිඟ  වැටුප්  නොගෙවීමේ  දඬුවම  නැවත  ස්ථිර  කරනවා . එයට  අමතරව  අවවාද  කිරීමේ  දඬුවම  ඉවත්  කර  ඒ  වෙනුවට  වැටුප්  වර්ධක  දෙකක්  අඩු  කිරීමේ  දඬුවමක්ද  පමුනුවනවා .  මෙම  දඬුවම්  පැමිණවීමට  හේතු  කිසිවක්  නන්දදාසට  දන්වන්නේ  නැහැ .

මේ  අනුව  රසේකොස  බලධාරීන්ද  වගඋත්තරකරුවන්  කරමින්  නන්දදාස  සංශෝධිත  පෙත්සමක්  ශ්‍රේෂ්ඨාධිකරණය  වෙත  ඉදිරිපත්  කරනවා .  එයට  වගඋත්තරකරුවන්  තමන්ගේ  පිළිතුරු  ඉදිරිපත්  කරනවා .  එහිදී  තමයි  ගරු  අධිකරණයට  අනාවරණය  වන්නේ  අධිකරණ  අමාත්‍යාංශයේ  ලේකම්වරයා  විසින්  හා  රාසේකොස  විසින්  කොතරම්  අසාධාරණ  ලෙස  හා  අභිමතානුසාරී  ලෙස  නන්දදාස  පිළිබඳව  තීරණ  ගෙන  ඔහුට  දඬුවම්  පමුණුවා  තිබේද  කියා .  

විනය  පරීක්ෂණ  නිලධාරී  පතිරගෙ  විසින්  ඉදිරිපත්  කරන  ලද  වාර්තාව  අනුව  සියලු  චෝදනාවන්ට  නන්දදාස  නිවැරදිකරු   බවට  තීරණය  කර  තිබියදී  තමයි  ,  එම  විනය  පරීක්ෂණයේදී  අනාවරණය  වූ  කරුණු  අනුව  නන්දදාසට  දඬුවම්  පැමිණවීමට  ක්‍රියා  කරන   බව  අධිකරණ  අමාත්‍යාංශයේ  ලෙකම්  විසින්  දන්වා  ඇත්තේ .  එසේම  එම  තීරණයට  පදනම්  වූ  කරුණු  ලෙස  ඔහු  පවසා  ඇත්තේ මහෙස්ත්‍රාත්  අධිකරණයෙදී  සාක්ෂිකරුවන්  විසින්  දී  ඇති  සාක්ෂි  අනුව  ඔහු  එම  තීරණය  ගත්  බවයි .  අධිකරණ  දෙකේම  නඩු  වාර්තා  විනය  පරීක්ෂණයේ  සාක්ෂිමය  ලේඛන  නොවෙයි . එහි  සාකිෂි  දුන්  එම  සාක්ෂිකරුවන්  දෙදෙනෙක්  විනය  පරීක්ෂණයේදී  සාක්ෂි  දී  නැහැ .  ලේකම්වරයා  ස්වභාවික  යුක්තියේ  මූලධර්ම  ගරු  කරලා  නැහැ .  රාසේකොස  විසින්  තම  තීරණයට  පදනම්  කරගෙන  ඇත්තේ  එම  ලේකම්වරයා  පවසන  කරුණුයි .  අනෙක් වැදගත්  කරුණු  කිසිවක් පිළිතුරු  වශයෙන්  ඉදිරිපත්  කර  නැහැ .   තමන්ට  එරෙහිව  පවත්වන .ලද  විනය  පරීක්ෂණයේ  තීරණ  හා  ඊට  අදාල  හේතු  දැන  ගැනීමටත් ,  එම  තීරණයට  වෙනස්  තීරණයක්  විනය  බලධාරයා  ගත්තේ  නම්  එයට  හේතු  මොනවාද  යන්න  දැන  ගැනීමටත්  චූදිතට  අයිතියක්  ඇති  බවත් , එසේ  නොමැතිව  ඉදිරිපත්  කරන  අභියාචන  පළ රහිත  වන  බවත්  නඩු  තීන්දුවේ  සඳහන්  වෙනවා .  මෙම  නඩු  තීන්දුවේ  අවසන්  නියෝගය මම පහතින්  උදෘත  කර  දක්වනවා .

ORDER

I  hold  that  the  petitioner's  fundamental right  under  article  12 ( 1 ) had  been  violated  by  the 1 st  respondent  as  well  as  the  Public  Service  Commission , and  quash  the  orders  communicated  to  the  petitioner  by  letters  dated  27 . 5 . 97  and 8 . 9 . 99 .  The  petitioner  will  be  entitled  to ( a )  the  salary  withheld  during  the  period  of  interdiction ,  together  with  simple  interest  at  15 %  p . a . from 27 . 5 . 97  up  to  date  of  payment ; (b ) compensation  in  a  sum  of Rs  100,000  payble  by  the  State ;  and ( c )  costs  in  a  sum  of Rs 10,000  payble  personally  by  the  1 st  respondent .              
              sgd / (  Fernando )  J

I  agree    sgd /  ( Weerasekera )  J

I   agree    sgd /  ( Ismail )  J

පිටු  11  කින්  යුත්  මෙම  නඩු  තීන්දුවේ  අන්තර්ගත  සියලු  කරුණු  මෙහි  ඇතුළත්   කර  නැත . තීරණ  ගන්නා  සියලුම  රජයේ  නිලධාරීන්  ඒ  පිළිබඳව  දැනුම්වත්  කර  එය  හැදෑරීමට  පෙළඹවීමයි  මගේ  අරමුණ . කෙසේ  වුවද  මා  අවසන්  වශයෙන්  පවසන්නේ  තීරණ .ගන්නා  රජයේ  නිලධරයන්ට  අභිමතානුසාරී  බලයක්  නොමැති  බවත් ,  ඔවුන්  ක්‍රියා  කළ  යුත්තේ  අදාල  නීති  රීතිවලට හා  ස්වභාවික  යුක්තියේ  මූලධර්මවලට  අනකූලව   බවත්  අවබෝධ  කර  ගැනීමට  මෙම  නඩු  තීන්දුව  උපකාරී  වෙන  බවයි .