උසාවියේ කතා

උසාවියේ කතා

බිලින් අච්චාරු නඩුව.

 ගාලු කොටුව කම්පා කෙරූ, පද්මිනී කුලරත්නගේ ඝාතනය


අද ගාලු කොටුවේ රැම්පාට් හෝටලය යනු එදා සමුද්‍රසිරි නිවසයි .රැම්පාට් හෝටලය අද වනවිට සංචාරක කර්මාන්තය තුල ඉතාමත් ඉහලින් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වුනු ස්ථානයක්.නමුත් මෙහි ඇති කතාව වසර ගණනාවක් අතීතයට අපව රැගෙන යන අතර එක කලෙක පද්මිනී කුලරත්නගේ ඝාතනය නමින් මුලු රටේම ආන්දෝලනාත්මක ලෙස දෝංකාර දෙන්නක්.


මේ  1967 දී මෙම හෝටලයේ පළවෙනි මහලේ කෙළවරේම කාමරයකදි අනන්ත්වත් දුක් විද කුස ගින්නේ මියගිය රූමත් සිව්දරු මවක් වූ පද්මිණී කුලරත්නගේ කතාවයි..දෙමහල් නිවසක්  “සමුද්‍රසිරි”. සුන්දර ගාලු  මුහුදු තිරය අසල පිහිටා තිබුනා..  එකල මෙහි ජිවත් වුයේ වෛද්‍ය කුලරත්න සහ ඔහුගේ බිරිඳයි.


කුලරත්න වෛද්‍යවරයාට සහ ඔහුගේ බිරිඳට ඩේමන් ගාමිණී කුලරත්න නමින් පුතෙක් සිටියා. ඉගනීමට ඉතාමත් දක්ෂ වුණු ඩේමන්, සිය පියා අනුව යමින් වෛද්‍යවරයෙකු බවට පත් වුණා.වෘත්තීය ජීවිතයේ මුල් අවධියේ දී කැකිරාව, අනුරාධපුරය වැනි ප්‍රදේශවල සේවය කළ ඩේමන් කුලරත්න වෛද්‍යවරයා පසුව සිය ගම් පළාත වුණු ගාල්ලට පැමිණියා.මිල මුදල් තිබුණු පවුලකට අයත් ඩේමන්, ගාල්ලේ ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ තව තවත් ධනවත් වුණා.


ඔහුගේ අතිශය කාර්යබහුල ජීවිතය නිසා නිසි වයස එළඹුනත් විවාහයට සුදුසු සහකාරියක් සොයාගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ.  සිය මවට ඉතාම යටහත් සහ කීකරු පුතෙකු වූ ඩේමන්, මව ගෙන ආ විවාහ යෝජනාවකට කැමැති වනවා. මනාලිය වූවේ කළුතර විසූ ධනවතෙකු වුණු සී. ඊ. පෙරේරාට සිටි බාලම දියණිය වුණු සුසිලා පද්මිණී පෙරේරා, ඇය ඉතාම රූමත් තරුණියක්. ඇය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් සහ කොළඹ බෞද්ධ කාන්තා විදුහලෙන් සිප් සතර හදාරා තිබුනා.

 ඒ අනුව1947 වසරේ සැප්තැම්බර් 28 වැනිදා ඩේමන් සහ පද්මිණී අතර විවාහය සිදු වුණා. ඒ අනුව ඔවුන් දරුවන් සිව්දෙනෙකුගේ මාපියන් වනවා. 1960 දශකයේ වන විට කුලරත්න වෛද්‍යවරයා රජයේ සේවයෙන් ඉවත්වී පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කර තිබුණා. මුල් කාලයේ එතරම් රෝගීන් පිරිසක් එහි නො ආවත්, වෛද්‍ය කුලරත්න රෝගීන්ට හොඳින් ප්‍රතිකාර කරන බව පැතිර යාමත් සමඟ බෙහෙත් ශාලාවට එන රෝගීන් ප්‍රමාණය වැඩිවුණා. එබැවින් බෙහෙත් ශාලාවේ සේවය කිරීම සඳහා කෙනෙකු සොයාගැනීමට පුවත්පත් දැන්වීමක් පළ කිරීමට වෛද්‍ය කුලරත්න කටයුතු කළා.


ආරියවතී නම් ඉතාමත් රූමත් තරුණිය වෛද්‍ය කුලරත්නගේ බෙහෙත් ශාලාවේ සේවයට පැමිණෙන්නේ එලෙස පළ වුණු පුවත්පත් දැන්වීම හරහායි.ආරියවතීගේ රූමත්කම නිසාම ඇයට වශී වුණු වෛද්‍ය කුලරත්න ටික කලකින්ම ඇය සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කළා. ඔහු ඇයට ‘ආරියා’ සහ ‘ආරී’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට ද පටන් ගත්තා. දිනක් පද්මිණී හදිසියේම බෙහෙත් ශාලාව වෙත යද්දී වෛද්‍ය කුලරත්න සහ ආරියවතී පමණට වඩා ළංවී සිටිනු දැකීමෙන් පද්මිණී මහත් කලකිරීමටත් කෝපයටත් පත්වුණා. “පවුල් කඩාකප්පල් කරන” කාන්තාවක් ලෙසට ආරියවතී හඳුන්වමින් පද්මිණී ඇයට බැණ වැදුණා.


එම සිද්ධියෙන් පසුව කුලරත්න යුවල අතර නිතරම ගැටුම් හටගන්නට වුණා.



කෙසේ හෝ ආරවුල දුරදිග යන්නට පටන් ගන්නවා. ඒ වගේන ඩේමන් ගේ මවත් ආරියවතීගේ පැත්ත ගන්නට වූයෙන් පද්මිණී තනි වනවා. අවසානයේ ඩේමින් ඇතුළු පවුලේ අය එකතු වි පද්මිණී මානසික රෝගයක් තිබෙන බව පවසා අංගොඩ යැවීමට කටයුතු කරනවා. පසුව පද්මිණීගේ නැගනිය එය වලක්වාලන්නේ වෙනත් වෛද්‍යවරයෙකුගේ පිහිටින්.ඉන් පසුව වෛද්‍ය කුලරත්න සිය බිරිද ව කාමරකය සිර කර තැබීමට කටයුතු කරනවා.පසුව  ඔහු මව සනග එක්ව පද්මිනීව දික්කසාද කිරීමට උපායක් යොදනවා නමුත්, පද්මිණී දික්කසාදයට අකමැතිවීම නිසා වෛද්‍ය කුලරත්න සහ මව ලෝරා දැඩි කෝපයට පත්වුණා.ඇයට ආහාර දීම සීමා කිරීමටත්, දරුවන්ට ඒකාමරයට යෑම තහනම් කරන්නත් මේ පුතා සහ මව තීරණය කරනවා.ඇටට උඩුමහලට කෑම යැවූවේ ලනුවකින් ගැට ගැසූ කූඩයකින්. 1967 වසරේ අප්‍රේල් 9 වැනිදා දහවලේ සුපුරුදු පරිදි පද්මිණීට වේවැල් කූඩයෙන් ආහාර එවනු ලැබුවා. එම ආහාර අනුභව කළ පද්මිණීට නොනවත්වාම වමනය සහ පාචනය ඇතිවන්නට වුණා.


දරාගන්නට බැරි උදර වේදනාව නිසා පද්මිණී සිය සොයුරියට දුරකථනයෙන් කතා කරමින් උදව් ඉල්ලා සිටියා. නිවසේ සිටි මෙහෙකරුවන් එම අවස්ථාවේ දී වෛද්‍ය කුලරත්නට දුරකථනයෙන් කතාකර සිද්ධිය දැනුම් දුන්නත් ඔහු ඒ ගැන තැකීමක් කළේ නැහැ.පද්මිණීගේ සොයුරිය නිවසට පැමිණෙන විට පද්මිණී සදහටම දෙනෙත් පියාගන තිබුණා.සිද්ධිය පිළිබඳව වාර්තා වීමෙන් පසුව ගාල්ල පොලිසියේ නිලධාරීන් සමුද්‍රසිරියට පැමිණියා.නිවසේ ඉතිරිව තිබූ දිවා ආහාරත්, පද්මිණී ආහාරගත් පිඟාන සහ වමනය කොටස් පරීක්ෂාවට ලක් කළා.


මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවුණේ, හුස්ම හිරවීම සහ ආමාශය දැඩි ලෙස හානියට පත්වීම හේතුවෙන් පද්මිණීගේ මරණය සිදුව ඇති බව යි. දිගින් දිගටම සිදුකරන ලද පරීක්ෂණවලින්, පද්මිණී කුලරත්නගේ ශරීරයේ පොටෑසියම් ආසනේට් විෂ තිබූ බව හෙළිවුණා.


ඒ සමඟම සමුද්‍රසිරිය මෙන්ම ඩේමන් කුලරත්නගේ බෙහෙත් ශාලවත් පරීක්ෂාවට ලක්වුණා.වෛද්‍ය කුලරත්න ළඟ තිබී පොටෑසියම් ආසනික් බෝතල් 2ක් හමුවීම හේතුවෙන් වෛද්‍යවරයා, ඔහුගේ මව, සහ මෙහෙකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.බටහිර රටවල් වලනම් වස දී මරාදැමීමේ අපරාධ බහුලව වාර්තා වුනත්, 1960 ගණන් වන තුරුම ශ්‍රී ලාංකික අපරාධ ඉතිහාසය තුළ එවන් අපරාධ වාර්තා වුනේ නැති තරම්. එවන් වකවානුවක සිදුවූ පද්මිණී කුලරත්න ඝාතනය සුවිශේෂී වන්නේ එය ලංකා නීති ඉතිහාසය තුළ වාර්තා වුනු පළමු ආසනික් වස දී මරා දැමීමේ නඩුව වීම හේතුවෙනුයි.


පද්මිණී මියගිය දා දහවලේ, ඇයට ලබාදුන් බත් පතෙහි බිලිං අච්චාරුවක්ද තිබුණා.ඇයට විෂ ශරීර ගතවන්නට ඇත්තේ මේ බිලිං අච්චාරුව හරහා බවට සැකයක් ඇතිවුණා.එය ලබා දී තිබුණේ  මෙහකාරිය සොපියා විසින්.පද්මිණීගේ මිනීමැරුම සම්බන්ධ නඩු විභාගයේදී දොස්තර කුලරත්නත්, ඔහුගේ මවත්, සොපියා නම් මෙහෙකාරියකටත් තමයි මේ වස දී මරාදැමීම සිදු කිරීමේ චෝදනා එල්ල වන්නේ. කුලරත්න යුවලගේ දියණියක් වූ අචිනිගේ සාක්ෂි වලින්ද වෙනත් සාක්ෂි ආධාරයෙන්ද මේ තිදෙනාට මරණ දඬුවම නියම වෙනවා. කෙසේ වෙතත් ඔවුන් නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මේ නඩුව නැවත විභාගයට ගන්නවා. එහිදී පළමු නඩුව විභාග කිරීමේදී දැක්වූ යම් යම් නොසැළකිලිමත් ක්‍රමවේදයන් නිසාවෙන් එල්ලුම් ගසින් ගැලවී නිදහස් වීමට ඔවුන් තිදෙනාට හැකි වෙනවා. පද්මිණී කුලරත්නව වස දී මරා දැම්මාද? නැතිනම් ඇය සියදිවි නසාගත්තාද යන්න සදාකාලික රහසක්ව වැළලෙනවා.

වහ දුන්නා ද එසේ නැතිනම් පීඩනය දරාගත නොහැකිව ඇය වස ශරීරගත කරගෙන සියදිවි හානිකරගත්තා ද යන සැකය අදටත් නො විසඳී තිබෙනවා.

දයානන්ද ජයවර්ධනයන් විසින් 90 දශකයේ ටෙලිනාට්‍යක් ලෙස මේ සිදුවීම ප්‍රතිනිර්මාණය කරා. ඒ හිම ගිරි අරණ නමින්.



Post a Comment

2 Comments

  1. ලංකා නීති ඉතිහාසය තුළ වාර්තා වුනු පළමු ආසනික් වස දී මරා දැමීමේ නඩුව වීම ....මේ ගැන දැනගත්තේ මේ ලිපිය නිසා

    ReplyDelete
  2. tthus one is theamazed

    ReplyDelete