උසාවියේ කතා

උසාවියේ කතා

කසාද දෙකක්



උපතින් මුස්ලිම්වරයෙකු වුවත් , ඉස්ලාම් ආගම වැලඳ ගැනීම මගින් මුස්ලිම්වරයෙකු වුවත් සියළුම මුස්ලිම්වරුන් සඳහා මුස්ලිම් නීතිය යෙදේ”
                 
Reid .v. Attorney General නඩු තීරණය තුළ සාමාන්‍ය විවාහයක් පවතින අවස්ථාවකදී මුස්ලිම් දහම වැළඳගෙන මුස්ලිම් නීතියට අනුව තවත් විවාහයක් සිදුකරගැනීම වලංගු බව දැක්විණි. මෙම තීරණය රාජාධිකරණය විසින් Attorney General .v. Reid නඩු තීරණයේදී අනුමත කරනු ලැබීය. මෙය අබේසුන්දර නඩු තීරණයට පුර්වයෙන් පැවති තත්ත්වය වේ.


නඩුවේ සිද්ධිය 

ක‍්‍රිස්තු භක්තිකයෙකු වූ රීඩ් නැමැත්තා 1933 දී එඩ්ගා මාග‍්‍රට් නැමති අයව සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව විවාහ කරගන්නා ලදී. වසර 24ක කාලයක් අඹු සැමියන් ලෙස ගතකර දරුවන් 8 දෙනෙකුද ලැබීමෙන් පසුව 1957 වර්ෂයේ දී මේ දෙදනා විරසක වූ අතර එඞ්ගා මාග‍්‍රට්, රිඞ්ට විරුද්ධව නඩත්තු නඩුවක් ද පැවරීය.
1959 වර්ෂයේ දී රීඞ් මහතා ෆැන්සි නැමති වැන්දඹු කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් ඇතිකර ගත් අතර, ඔවුන් දෙදෙනා විවාහ වීමේ අරමුණින් 1959 ජූනි මස 13 වැනි දින ඉස්ලාම් ආගම වැලඳ ගෙන පෙර විවාහය පවතිද්දී  මුස්ලිම් ජාතිකයින් ලෙස 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ විධිවිධාන යටතේ 1959 ජූනි මස 16 වැනි දින ( මුස්ලිම් ආගම වැළඳ ගැනීමෙන් දින දෙකකට පසු ) නැවතත් විවාහ වූහ.
මෙම කරුණ පදනම් කරගනිමින් දණ්ඩ නීති සංග‍්‍රහයේ 362(ආ) වගන්තිය ප්‍රකාරව බහු විවාහය නැමති අපරාධමය වරද පිළිබඳව නඩුකරයක් රීඞ් මහතාට විරුද්ධව පැවරිණි. මෙහිදි, ඔහුගේ විත්තිවාචකය වූයේ තමා ඉස්ලාම් භක්තිකයෙකු ලෙස දෙවන වරට විවාහ වීම නිසා බහු විවාහය යන්න මුස්ලිම් නීතිය තුළ නීත්‍යනුකූල ක‍්‍රියාවක් වන හෙයින් තමාට අපරාධ නීතිය යටතේ දඩුවම් කළ නොහැකි බවයි.
තීරණය
නඩු විභාගය අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් චූදිතයාගේ මෙම විත්ති වාචකය පිළිගනිමින් ඉහත චෝදනාවෙන් ඔහුව නිදහස් කරනු ලැබීය. චූදිතයා ඉස්ලාම් දහම වැලදගෙන කෙටි කලකින් දෙවැනි විවාහය සිදුකරගෙන ඇති නමුත් ඔහු එසේ ඉස්ලාම් ආගම වැළඳගැනීම ව්‍යාජ ක‍්‍රියාවක් බව පැමිණිල්ල විසින් ඔප්පුකර නොමැති තත්ත්වයක් තුල එය අව්‍යාජ ලෙස ආගම වැලඳගැනීමක් බවට නිගමනය කළයුතු බවත් එබැවින් දෙවන විවාහය නීත්‍යනුකුල වන හෙයින් බහු විවාහය නැමති වරදට චූදිතයා වරදකරු නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබීය.
මෙම තීරණයට විරුද්ධව නීතිපතිවරයා විසින් රාජාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කල අතර එහිදී ද ඉහත ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අනුමත කරනු ලැබීය. මෙහි දී ප‍්‍රධාන ලෙසම ශ‍්‍රි ලංකාව තුල පවතින බහු ආගමික, බහු සංස්කෘතික විවිධත්වය මත පදනම්ව ඉහත තීරණය අනුමත කීරීමට රාජාධිකරණය කටයුතු කරනු ලැබීය.
” In a country such as Ceylon, Where there are many races and creeds and a number of Ordinances and Acts the inhabitants domiciled here have and inherent right to change their religion and personal law and so to contract valid polygamous marriage. If such inherent right is to be abrogated it must be done by statute….. “
විවේචන
නමුත් මෙම නඩු තීරණයන් ද්විත්වය ඉන්පසු විවිධ නීති විශාරදයින්ගේ දැඩි විවේචනයන්ට ලක්විය. ඔවුන් දැක් වූ ආකාරයට සාමාන්‍ය විවාහ නීතිය යටතේ දික්කසාදයක් ලබා ගැනීමට නොහැකි වූ අවස්ථාවක දී ඉස්ලාම් දහම වැළඳගෙන මුස්ලිම් නීතිය යටතේ වෙනත් ස්ත්‍රියක් විවාහ කරගැනීමට ඉඩකඩ ලබාදීම තුළ ගැටළු රාශියක් උද්ගත විය හැකිව තිබුණි.
” නීතිපති එ. රීඞ් නඩුවට පසුව නීත්‍යනුකූල දික්කසාදයත් සාමාන්‍ය නීතිය යටතේ ලබාගත නොහැකි අවස්ථාවල දී, පුරුෂයකුට මුස්ලිම් ආගමට මාරුවීමෙන් පළමු විවාහය පවතින කාලයෙහි නැවත විවාහයකට ඇතුල්වීමට හැකිබව පැහැදිලි වේ. මෙවැනි තත්ත්වයක් ඇතිවීම සතුටුදායක නොවන අතර, මධ්‍යම පංතියේ පුරුෂයන් මුස්ලිම් ආගම ඇදහීමෙන්, සාමාන්‍ය නීතියෙන් ලබාගත නොහැකි වෛවාහික සහනය මුස්ලිම් නීතිය යටතේ ලබාගන්නා බව සඳහන් කලහැකිය….”
” නීතිපති .එ රීඞ් නඩුවෙන් හටගන්නා පටලැවීමෙන් සාමාන්‍ය විවාහ නීතියේ සහ මුස්ලිම් නීතියේ විසදිය යුතු ප‍්‍රශ්න කීපයක් මතුවන්නේය…..”
                                                                                      – මහාචාර්ය සවිත‍්‍රී ගුණසේකර –
                                                                                              – පුද්ගල නීතිය –
මෙම නිසා මෙම තත්ත්වය නැවත විග‍්‍රහ කර බැලීමට අවස්ථාවක් නටාලියා අබේසුන්දර එ. ක‍්‍රිස්ටෝපර් අබේසුන්දර සහ තවත් අය නඩු තීරණයේදි ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබිණි. නමුත්, රාජාධිකරණය විසින් ඉහත තත්ත්වය තහවරු කිරීම නිසා එම තීරණයෙන් ශ‍්‍රී ලංකාවේ අධිකරණය බැදී සිටින බවට මත ඉදිරිපත් විය. මේ නිසා 1978 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව ප‍්‍රකාරව අග‍්‍රවිනිශ්චයකාරවරයා වෙත පැවරී තිබෙන බලතල අනුව එකී රාජාධිකරණ තීන්දුවේ වලංගු භාවය නැවත විමර්ශනය කිරීම පොදු වැදගත් නඩු කටයුත්තක් ලෙස සලකා පස් දෙනෙකුගෙන් යුත් විනිශ්චය පීඨයක් මගින් නැවත එය විමසා බැලීමට තීරණය කරනු ලැබීය.
අබේසුන්දර නඩු තීන්දුව
1958.09.27 -: ක‍්‍රිස්ටෝපර් අබේසුන්දර සහ නටාලි අබේසුන්දර සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරිමේ පනත යටතේ විවාහ වීම.
1980 -: දික්කසාද වීම සඳහා අබේසුන්දර මහතා විසින් නඩුවක් පැවරීම හා එය නිශ්ප‍්‍රභ වීම.
1985 මාර්තු -: මුස්ලිම් ආගම වැලදගෙන අබේසුන්දර මහතා කාන්තිකා එදිරිසිංහ නම් තැනැත්තියක්ව විවාහ කරගැනීම.
මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අබේසුන්දරව ද්වි විවාාහයට වැරදිකරු කිරීම.
පළාත්බද මහාධිකරණය අබේසුන්දරව නිදහස් කිරීම.
ශ්‍රේෂ්ඨාධිකරණයට නටාලියා අබේසුන්දර මහත්මිය නඩුවක් ගොනු කිරීම.
මෙහි දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ක‍්‍රිස්ටෝපර් අබේසුන්දර ඉස්ලාම් භක්තිකයෙකු බවට පත් වී මුස්ලිම් නීතියට යටත් බවට පත් වුව ද පොදු විවාහ නීතිය යටතේ සිදුකර තිබූ මුල් විවාහයේ බැදීම් අවසන් නොවී ඇති බවට තීරණය කර ඒ අනුව මුස්ලිම් නීතිය යටතේ සිදුකර තිබූ දෙවන විවාහය බල රහිත විවාහයක් බවට තීන්දුකර රීඞ් .එ. නීතිපති හා නීතිපති .එ. රීඞ් නඩු තීරණ අධිතීරණය කරමින් මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අබේසුන්දර මහතාට ලබා දී තිබූ දඩුවම නැවත ස්ථාපිත කරනු ලැබීය. මෙහිදී අධිකරණය සිය තීරණයට එළඹීම සඳහා පහත ප‍්‍රවේෂයන් උපයෝගී කරගනු ලැබීය.





1. 1907 අංක 17 දරණ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 18, 19(1), 35(1) යන වගන්ති මගින් පොදු විවාහ නීතිය ඒක භාර්යා සේවනය පමණක් අනුමත කරන නීතියක් බවත් , බහු භාර්යා සේවනය තහනම් කර ඇති නීතියක් බවත් යන කරුණු නීතිපති එ. රීඞ් නඩුවේ රාජාධිකරණයේ තීන්දුව දීමේ දී අවධානයට ලක් වී නොමැති බව.
2. නීතිපති . එ. රීඞ් නඩුවේදී නීතිපතිවරයා විසින් මතුකරනු ලැබු පොදු නීතිය තුළ ලියාපදිංචි කළ මුල් විවාහය මගින් වෛවාහක පාර්ශවකරුවන් බැද තබන ඒක භාර්යා සේවනය නැමති ගිවිසුමේ බැදීම එක් පාර්ශවකරුවෙකු විසින් ඒකපාර්ශවිකව ඉස්ලාම් ආගම වැළඳගැනීම යන කාරණය මත අවසන් නොවන බවත්ල ඒ අනුව එම විවාහ බන්ධනය වලංගුව ඇති තාක්කාලය තුලදී සිදුකරනු ලබන දෙවන විවාහය කවර නීතියක් යටතේ කළ ද එමගින් පළමු විවාහ ගිවිසුමේ අවසන්ව නොමැති නෛතික බැදීම කඩකෙරෙන බවත් යන කරුණු කෙරෙහි රාජාධිකරණයේ අවධානය යොමුනොකර තිබීම.
3. නීතිපති . එ. රීඞ් නඩු තීන්දුවේ දැක්වෙන ආගම වෙනස් කිරීමේ පුද්ගලයකු සතු අයිතිය පිළිගන්නා නමුත්, ඒ මත එම පුද්ගලයා මුස්ලිම් නීතියට පසුව යටත් විය හැකි වුවද පොදු නීතිය යටතේ සිදුකර ඇති මුල් විවාහයේ නෛතික බැදීම් මේ විවාහය තුලින් අවසන් නොවන බව දැක්වීම.
4. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මුඩ්ගල් නඩු තීරණය අදාල කර ගැනීම.
හින්දු භක්තික සැමියෙක් හින්දු නීතිය යටතේ ලියාපදිංචි කරන ලද විවාහයක් වලංගුව පවතිද්දී ඉස්ලාම් භක්තිය වැළඳගෙන මුස්ලිම් නීතියට යටත් වූ පසුව මුස්ලිම් නීතිය යටතේ කරගනු ලැබූ දෙවන විවාහයක් වලංගුවේ ද යන්න මෙහිදී ප‍්‍රශ්න ගත විය. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදි තීරණය කරන ලද්දේද යම් තැනැත්තෙකුට ඉස්ලාම් ආගම වැලඳ ගැනීමටත්, ඒ අනුව මුස්ලිම් නීතියට යටත් වීමටත් හැකියාවක් ඇතත්, ඒකභාර්යා සේවනය පමණක් අනුමත කරන 1955 හින්දු විවාහ පනතේ නීතිමය තත්ත්වය යටතේ මුල් විවාහ ගිවිසුම වලංගුව පවත්නා තාක් මුස්ලිම් ආගම වැළඳගෙන සිදුකරන ලද දෙවන විවාහය බල රහිත වන බවත් ඒ අනුව එය ඉන්දියානු දණ්ඩ නීති සංග‍්‍රහායේ 494 වන වගන්තියේ විධිවිධාන යටතේ බහු විවාහය නැමති වරදට ගැනෙන බවත්ය.
මේ හේතුවෙන්, රීඞ් නඩු තීරණය තුළින් ස්ථාපිත කරනු ලැබූ නෛතික ස්ථීතිය නැවත ආපසු හැරවීමක් අබේසුන්දර නඩු තීරණය තුලින් සිදු කරනු ලැබීය. මේ හේතුවෙන්, ශ‍්‍රී ලංකාවේ නීතිය තුල සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් පවතින විට එය දික්කසාදයකින් කෙළවර නොකර මුස්ලිම් ආගම වැලදගෙන තවත් විවාහයක් කරගැනීම ද්විවාහය නැමැති අපරාධමය වරද ස්ථාපනය කරන්නක් බවට නීතිමය වශයෙන් ස්ථාපිත විය.
” There is no question that Reid was free to Change his faith, but the true question which arose for decision was whether Reid could cast off the statutory obligations which directly arose from his previous marriage in terms of the Marriage Registration Ordinance by the simple expedient of unilateral conversion to Islam Could he by his own act overcome the incidents of the marriage he chose to contract in terms of the Marriage Registration Ordinance? in my view, the answer is emphatically in the negative”
                                                                                                     – G.P.S.de. Silva (C.J) –
මෙම අබේසුන්දර නඩු තීරණයද, විවිධ නීති විශාරදයන්ගේ නොයෙකුත් විවේචනයන්ට බදුන් වනු අදවනු විට දැකගත හැකිය. නීති කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ මහතා දක්වන ආකාරයට අබේසුන්දර නඩු තීරණය තුළ බොහෝ සිද්ධිමය හා නීතිමය වැරදීන් අන්තර්ගත වේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුෆ් මහතාද මෙම තීරණයේ වැරදි සහගත තත්ත්වයන් දක්වා තිබේ. ලක්ෂ්මන් මාරසිංහ මහතාට අනුව,
A අබේසුන්දර නඩු තීරණයේ දී යොදාගනු ලැබූ මුඞ්ගල් නඩු තීරණය මේ සඳහා අදාල කරගත නොහැක. හේතුව මුඞ්ගල් නඩුවේදී සිදුවූයේ එක් ආගමික නීතියක් යටතේ විවාහ වී තවත් ආගමික නීතියක් යටතේ විවාහ වීමකි. නමුත්, අබේසුන්දර නඩුවේදී සිදුවූයේ සාමන්‍ය හෙවත් ආගමික නොවන නීතියක් යටතේ විවාහ වී පසුව ඉස්ලාම් ආගම වැළඳගෙන එ් යටතේ විවාහ වීමකි. මේ නිසා, ශ්‍රේෂ්ඨාධිකරණයට වෙනස් කොට දැක්වීම (distinguishe) යටතේ එම නඩු තීරණය බැහැර කළ යුතුව තිබිණි.
B සාමාන්‍ය විවාහ ආඥා පනතේ 64 වගන්තිය තුළින් ප‍්‍රකාශිතවම එම ආඥා පනතේ ප‍්‍රතිපාදන තුළින් මුස්ලිම් විවාහ සහ දික්කසාද ඉවත් කර තිබීම.
C මුස්ලිම් විවාහ නීතියට අනුව පුරුෂයෙකු බහු විවාහය නැමති වරදට වැරදිකරුවෙකු කළ නොහැකි වීම. මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥ පනතේ 24 වගන්තිය අනුව මුස්ලිම් පුරුෂයෙකුට බිරින්දෑවරුන් සිව්දෙනෙකු සමඟ විවාහ විය හැකි අතර ඊට වැඩි ගණනක් සමඟ වුවද විවාහ විය හැකියග විවාහ හතර ඉක්මවන විවාහයන් නීතියට පටහැනි විවාහ ලෙස ගණන් ගැණුනද එ්වා බල රහිත විවාහ බවට පත්නොවේ.


D එමෙන්මල මුඞ්ගල් නඩු තීරණයේ දී සාකච්ඡාවට ලක් වූ හින්දු නීතිය තුළ මුස්ලිම් ආගමට හැරීම තහනම් කර තිබිණී. නමුත් අබේසුන්දර නඩුවේදී සාකච්ඡුාවට ලක් වූ සාමාන්‍ය නීතිය තුළ එලෙස තහනමක් දක්නට නොවීය.


E අබේසුන්දර නඩු තීරණයේදී අධිකරණය රැඩිකල් ලෙස 1946 ට පෙර නීති තත්ත්වය ඇතුළත් කරනු ලැබීය. නමුත් එය වර්තමාන බහු ආගමික හා බහු වාර්ගික සමාජයට සුදුසු නොවීම.
යන කරුණු මත පදනම්ව මෙම තීරණය වැරදි සහගත වේ.


මේ අනුව අද වනවිටද මෙම කාරණය විවිධාකාරයේ ප්‍රශ්න කිරීම්වලට ලක්වන ආකාරය දැකගත හැකි අතර අබේසුන්දර නඩු තීරණය අධිතීරණය කර නොමැති බැවින් තවදුරටත් එය වලංගු නිතීමය තත්වයක් ලෙස ලංකාව තුළ බලපැවැත් වේ. නමුදු ඒ පිළිබඳව නීති විශාරදයින් අතර මත දෙකක් පවතී. එමනිසා හෙට දිනයේදී එම නඩු තීන්දුව අධිතීරණය වුවහොත් එවිට තත්ත්වය නැවතත් වෙනස්වේ. එමනිසා මේ පිළිබඳව ස්ථාවර විසදුමක අවශ්‍යතාවය අදවන විට මතුව තිබෙන බව අවසාන වශයෙන් පෙන්වා දිය හැකිය.

Post a Comment

0 Comments