උසාවියේ කතා

උසාවියේ කතා

කැළණි සරසවියේ ගිලිහුන පෙම






කැළණිය විශ්වවිද්‍යාලය 1959 දී පිහිටුවා ඇත. එකල එය "ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය" නම් විය. විශ්වවිද්‍යාලයේ ආදර්ශ පාඨය වන්නේ “පඤ්ඤාය පරිසුජ්ඣති” ය.  ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල වල මෙන්ම ඉතාමත් අලංකාර නිදහස් පරිසරයකට උරුමකම් කියන විශ්වවිද්‍යාලයකි.

මෙම නඩු තීන්දුවේ ඇති සිද්ධිය පාදක කරගනිමින් කමල් අද්දරාඅරච්චි සහ සංගීතා වීරරත්න රංගනයෙන් දායක වන වසන්ත ඔබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කල "සලෙලු වරම" චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ චිත්‍රපටි කලාවට එක් වී ඇත. 

මෙම නඩුවේ චූදිත අභියාචක වන ප්‍රේමලාල් යනු ඉතාමත් දක්ෂ සිසුවෙකු වූ අතර ඔහුගේ අභිප්‍රාය වූයේ කතිකාචාර්‍යවරයෙකු වීම ය. තනිකඩ ජීවිතයක් ගත කරමින් සිටි ඔහුට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ වසරේ කොක්කක් මුණගැසෙයි. ඇය නමින් මදුවන්තී විය. මෙවැනි සම්බන්ධයක් ඇති වූ විට විශ්වවිද්‍යාල භාෂාවට අනුව පිරිමි පාර්ශවයට කියන නම්ක් ඇත. ඒ අනුව ප්‍රේමලාල් "ලැම්බට්" කෙනෙකි. මොවුන් දෙපළ කැළණිය විශ්වවිද්‍යාලයේ ඇති පෙම්වතුන්ගේ ස්ථාන වන 'තල් වැට' 'සයිබේ' 'තරුව' 'අඹසෙවන' හී කල් ගෙවමින් ඉතාමත් ආදරයෙන් ජීවත් වී ඇත. මෙම දෙපළ විශ්වවිද්‍යාලයේ ඉතාමත් ජනප්‍රිය පෙම්වතුන් දෙපලක් වීය. 

කාලය කෙමෙන් ගෙවී ගියහ. 

දිනය 1992 අප්‍රේල් 22

අවුරුදු නිවාඩුව ගෙවී ගොස් දින කිහිපයක් ගත වීය. පුරුදු පරිදි මෙදින ද කුරුලු හඩින් සහ අලුත් වූ පරිසරයෙන් විශ්වවිද්‍යාල භූමිය හැඩවී හිරු රෂිමියෙන් නැහැවී දවස උදාවිය. නමුත් මේ සියලු චමත්කාර පරිසරය එක සැනකින් අදුරෙන් වැසී ගිය දිනයක් බවට පත්වූයේ ඉතාමත් ඛේදජනක සිදුවීමක් සිදුවිමෙනි. 

මධුවන්තීට, ප්‍රේමලාල්ට අමතරව ඇයගේ ගමෙත් පෙම්වතෙක් සිටීය. ඔහු නමින් සුසන්ත ය. මොවුන් දෙදෙනාගේ සම්බන්ධය පාසල් යන කාලයේ සිට පැවතගෙන ආ එකකි. මදුවන්ති විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමෙන් පසුවත් මෙම සම්බන්ධය තිබී ඇත. නමුත් ප්‍රේමලාල් ඒ බවක් දැන හිද නැත. ඇයගේ පියාද මේ සම්බන්ධව නොදැන සිටි බවක් සාක්ෂි ලබා දීමේදී පැවසීය. 

පුරුදු පරිදි මධුවන්තී ලක ලෑස්තිවී තම මිතුරිය පැට්‍රික් සමග ලෙක්චර්ස් යාමට පිටත් වීය. ඇගේ මිතුරිය නමින් සීලීන් පැට්‍රික් වන අතර ඇය මෙම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරියකි. ඇගේ සාක්ෂියට අනුව මදුවන්තී හා ප්‍රේමලාල් අතර ආදර සම්බන්ධයක් නොතිබූ බවත් මියගිය මදුවන්තී හුදෙක් එක් මිතුරියක් පමණක් බවත් ඒත්තුගැනිවීමට උත්සහ කර ඇත. නමුත් ඇගේ සාක්ෂිය මගින් සහ විශ්වවිද්‍යාලයේ මුරකරුගෙන් අනාවරණය වූ ප්‍රධාන කරුණු දෙකක් ඇත. කෙසේහෝ ඇයගේ සාක්ෂිය විශ්වාස කිරීමට අපහසු සාක්ෂියක් බවට අභියාචකගේ නීතිඥවරුන් පෙන්වා දී ඇත. 

නමුත් විත්තියේ සාක්ෂිකරුවෙකු වූ ප්‍රේමලාල්ගේ හොදම මිතුරා හෙවත් රූමා වන කුලතිලක බණ්ඩාර විසින් තම සාක්ෂියේ පෙන්වාදී ඇත්තේ මදුවන්ති සහ ප්‍රේමලාල් විශ්වවිද්‍යාලය තුල ඉතාමත් ජනප්‍රිය පෙම්වතුන් යුවලක් වූ බවත්, මොවුන් දෙපළ නිතර "Kelaniya Inn” නම් හෝටලයේ හමුවූ බවත්, මොවුන් අතර ලියුම් හුවමාරු වූ බවත් පෙන්වා දී ඇත. තවදුරටත් ඔහුගේ සාක්ෂියෙන් මතු වූ ප්‍රධානම කරුණක් වන්නේ, අවසාන වසරේ අවසන් විභාගය පැවැත්වීමට ප්‍රථමයෙන් ඉහත කී හෝටලය වෙත දෙදෙනාම ගිය බවත්, පසුව ප්‍රේමලාල්ගේ හැසිරීම වෙනස් වූ බවත්, නිතර නිතර අඹසෙවනේ කල් ගෙවමින් මදුවිත පානය කිරීමටත් බීගෙන විත් මදුවන්තී සම්බන්ධයෙන් දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමටත් පටන් ගත් බවයි. 

"මදුවන්ති තමයි ටිකක් මට සැනසීමක් තිබෙන්නේ. ඒකත් නැතිවෙනවා."
 
ප්‍රේමලාල්ට මේ මොහොත වන විට මදුවන්තීගේ සහ ඇයගේ ගමේ ප්‍රේමවන්තයාගේ හොර රහසේ සිදු වී තිබූ කසාදය පිළිබදව ආරංචි වී තිබුණි. එකී කසාදයේ විවාහ සහතිකයද මෙම නඩුවේ සාක්ෂියක් ලෙස ගොනු වී ඇත. ඇයගේ පියා පවා මෙම සම්බන්ධය ගැන නොදැන සිටි අතර ඇයගේ මරණයෙන් පසුව දැනගෙන ඇත.මෙම අවාසනාවන්ත ආරංචිය ප්‍රේමලාල්ට දරාගත නොහැකි විය. නඩුවේදී ඉදිරිපත් වූ මියගිය කාන්තාව විසින් එවා තිබූ පෙම් හසුන්වල තිබූ ඉතාමත් වැදගත් පේලි කිහිපයක් පහත දක්වා ඇත. 

"මම බැදපු ගෑනියක් නිසා ඔයාට හැකි නම් මිනිස්කමේ නාමයෙන් ඔයාත් ජීවත් වෙලා මටත් ජීවත් වෙන්න ඉඩ දෙන්න"

"ඔයා ඉතාමත් හොද මිනිස්කම් වලින් පෙලුනු අවංක කෙනෙක්. මම හිතා මතා වැරදි කරලා නැහැ ලාල්. මට සමාවෙන්න් ලාල් හැම දේකටම. ඔයාගේ ජීවිතයට මෙතරම් වේදනා එකතු වුනේ මම නිසා බව මම දන්නවා."

මේ ආරංචියත් සමග ඔහුට සිදු වූ ලැජ්ජාව, අවමානය සේම හිතේ තිබූ ආදරය, දුක, කෝපය හේතුවෙන් හිත පාලනයකින් තොරව ගිලිහී ගියා විය හැකිය. පසුව මෙදින ඔහු උමතුවෙන් පිහියක් සහ වස කුප්පියක් ද අතැතිව බෝඩිමෙන් එලියට බැස්සේය. 

ඔහු, ලෙක්චර්ස් ‍යමින් සිටි මදුවන්තිගේ පිටුපසින් පැමිණ ඇයට නවතින ලෙස අණ කර පිහි පාරවල් දෙකක් ඇන ඒ සැනින් දිව ගොස් ඔහුද වහ කුප්පියක් පානය කලේය. ඔහුගේ ජීවිතයට හානියක් සිදු නොවීය. නමුත් ප්‍රේමලාල් ආදරය කල ඔහුගේ පෙම්වන්තිය රෝහල් ගත කරන විටත් මිය ගොස් ඇත. එලෙස ඔවුන්ගේ ජීවිත වෙන වෙනම නොසිතූ ලෙස ලියවිනි. 

ප්‍රේමලාල් මධුවන්තීට පිහියෙන් ඇන්න බවත් පසුව දිව ගොස් වස කුප්පියක් සාක්කුවෙන් ඇද පානය කල බවත් යන ප්‍රධාන කරුණු දෙකම ඉහත කී පරිදි මිතුරිය වූ පැට්‍රික් සහ විශ්වවිද්‍යාලයේ මුරකරුගේ සාක්ෂි වලින් අනාවරණය වී ඇත. 

මදුවන්තිගේ ඝාතනයට ප්‍රේමලාල්ව අත්අඩංගුවට පත් වූ අතර මහාධිකරණ නඩු විභාගයකින් අනතුරුව මිනීමැරුමට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය. 

පසුව මෙම චූදිතයා නීතිඥ Dr. රංජිත් ප්‍රනාන්දු මහතා සහ නීතිඥ ගයාන් පෙරේරා මහතා හරහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනාවක් ගොනු කලේය. එහිදී නීතිඥවරුන් මගින් පෙන්වා දී ඇත්තේ මෙම මර්ණය සිදු කිරීමට ප්‍රධානම හේතුව ප්‍රේමලාල් තුල ඇති වූ බලවත් වූත් හදිසි ප්‍රකෝපය “Grave and Sudden Provocation” බවයි. එනම් දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය යටතේ ව්‍යතිරේක අවස්ථාවක් (01 ව්‍යතිරේකය) ලෙස  දක්වා ඇති සහ මිනිමැරුම් චෝදනාවකට විරුද්ධව විත්තිවාචකයක් ලෙස යොදාගත හැකි බරපතළ වූත්, හදිසි වූත්, ප්‍රකෝප කිරීමක් නිසා ආත්ම දමනය කිරීමට බලය නොමැති වීම නිසා තවත් පුද්ගලයෙකුගේ මරණය සිදු කිරීමට සිදු වීම යන්නයි. 

ඒ අනුව ඉහත සදහන් නඩුවේ කරුණු සහ බණ්ඩාරගේ සාක්ෂිය සලකා බලා පහත පරිදි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ කුලතිලක විනිසුරුවරයා විසින් පෙන්වාදී ඇත. 

“හදිසි ප්‍රකෝපනය” යන වාක්‍ය ඛණ්ඩය අර්ථකථනය කරමින් පෙන්වා දී ඇත්තේ ප්‍රකෝප කිරීම ඝාතනයට පෙර සිදු වූ තනි ක්‍රියාවකින් සමන්විත විය යුතු බවත්, එවිට කෝපය නිවීයාමට කාලයක් නොමැති බවත්, එම ක්‍රියාව චූදිතයා කළ ආකාරයටම ප්‍රතිචාර දැක්වීමට සාධාරණ මිනිසෙකුට හැකියාව තිබිය යුතු බවත් ය. 

නමුත් මෙම සිද්ධියට අනුව තම පෙම්වන්තිය හොර රහසේම වෙනත් පුද්ගලයෙකුව විවාහ කරගත් පසු චූදිතයාගේ සියලු බලාපොරොත්තු සුන්වීමත්, කතිකාචාර්‍යවරයෙකු වීමේ සිහිනය අහිමිවීමත්, එකම සහනය වූ පෙම්වතිය අහිමිවීමත්, විශ්වවිද්‍යාලයේනෙකුත් සිසුන්ට සමාජයට මුහුණ දීමට නොහැකි වීමත්, යන කරුණු සියල්ල එකට එක්ව කැටිව මරණය සිදුකරන වෙලාවේදී ඉක්මන් ප්‍රකෝපය ඇති වී ඇති බව පෙන්වා දුන්හ. 

තවද බණ්ඩාරගේ සාක්ෂියට අනුව ඝාතනය සිදු කිරීමට දින කිහිපයක සිට චූදිතයාගේ හැසිරීමේ තිබූ වෙනස්කම් මගින් ඔහුට ඇති වී තිබූ චිත්ත සන්තාපය (Mental Agony) හා ආත්ම දමනය (Self Control) ගිලිහී තිබීම මනාව පිළිඹිබු වන බවත් තම පෙම්වන්තිය ඝාතනය කර දිව ගොස් වස කුප්පියක් පානය කිරීම මගින් තව දුරටත් එය සනාථ වන බවත් පෙන්වා දුන්හ. 

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරුන්ගේ ඒකමතික තීන්දුවකට අනුව චූදිත අභියාචකට මිනීමැරුමේ චෝදනාවට අච්චු වී තිබූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලිහිල් වන පරිදි හදිසි ප්‍රකෝපය යන විත්තිවාචකය මත මිනීමැරුම් චෝදනාව මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් (Culpable Homicide Not Amounting To Murder) ලෙස නියම කර දණ්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තිය ප්‍රකාරව අවුරුදු 15 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් බවට අඩු කලහ. 

Premalal V. The Attorney General (2000) 2 SLR 403

 

Case Report: https://www.lawnet.gov.lk/wp-content/uploads/2016/11/039-SLLR-SLLR-2000-V-2-PREMLAL-v.-ATTORNEY-GENERAL.pdf

#Kelaniya #UOK 

Post a Comment

1 Comments

  1. මේක කාලිනවත් ගන්න පුලුවන් article ekk wagema informative

    ReplyDelete