උසාවියේ කතා

උසාවියේ කතා

ඩෆ් හවුස් මිනී මැරුම



ස්ටීවන් සෙනවිරත්න හා ඔහුගේ බිරිද වූ ලිලියන් රොසලින් සෙනවිරත්න 1923 වර්ශයේදී විවාහ දිවියට පිවිසී ඇත. ස්ටීවන් සෙනවිරත්න යනු ධනවත් පවුලකින් පැවතගෙන එන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරීයෙකු වූ ලංකාවේ නිතිඥයවරයෙක් ය. මොවුන් දෙපළ නෑනා මස්සිනාලා වූ අතර දෙදෙනාම ලංකාවේ ප්‍රබල දේශපාලකයෙකු වූ S.W.R.D. බණ්ඩාරනායක මහතාගේ ලගම ඥාති වූහ. විවාහයෙන් පසු මොවුන් දෙපල කොළඹ 7 වෝඩ් පෙදෙසේ පිහිටි “white house” හී පදිංචි වී ඇත. මොවුන්ට අවුරුදු 9ක පමණ ටෙරන්ස් සෙනවිරත්න නමින් කුඩා දරුවෙකු විය. තවද එක් ළමයෙකු ඉපදී වහාම මිය ගොස් ඇත. 
 
කාලයත් සමග මොවුන් දෙපළ අතර අඩදඹර ඇතිවීමට තුඩු දෙන හේතු ඇති වී ඇත. ස්ටීවන් විසින් තමාට උරුම වූ white house නිවස විකුණා දමා ඇති අතර දෑවැද්දට ලැබුනු වැල්ලවත්ත ප්‍රදේශයේ ඉඩමක්ද විකුණා දමා නාවල ප්‍රදේශයෙන් වගා භූමියක් මිලදීගෙන ඇත. එයට හේතුව වන්නේ මොහු වගා කිරීමට හා සත්තුන් ඇති කිරීමට ඇල්මක් දැක්වූ අයෙකි. white house එක විකිණීමත් සමග රණ්ඩු සරුවල් වැඩි විය. බිරිද වූ සෙනවිරත්න මහත්මියගේ අකමැත්ත උඩ එය විකිණීම ඊට හේතුවයි. පසුව කුලී නිවසක කෙටි කාලයක් ජීවත් වී 1933 දී බගතලේ පාරේ පිහිටි Duff House යන නිවසෙහි පදිංචි විය.



        ඩෆ් හවුස් බංගලාව තනි තට්ටුවේ නිවසක් වූ අතර එහි ඉදිරිපස, පිටුපස හා නැගෙනහිර පැත්තේ වැරන්ඩා ඇත. මෙම නිවසේ ජීවත් වූයේ සෙනවිරත්න මහත්මිය, ටෙරන්ස් දරුවා, ස්ටීවන් සෙනවිරත්න සහ ඔවුන්ගේ සේවකයන් පිරිස වේ. සෙනවිරත්න මහත්මිය වෙනම කාමරයක ඇයගේ සේවිකාව වූ ඇල්පිනා සමගත් ටෙරන්ස් දරුවා මවගේ කාමරයට යාබදම කාමරයේ ඔහුගේ සේවිකාව/හෙදිය වූ මාබෙල් ජෝසප් සමග නිදාගන්නා අතර මෙම කාමර දෙකටම එකම නානකාමරයක් තිබී ඇත. කාමර දෙකම එකිනෙකට විවෘතය. ස්ටීවන් මහතා බංගලාවේ පිටුපස කාමරයක තනිව ජීවත් වී ඇත.
බිරිද රණ්ඩු ඇති කිරීමට තවත් එක් හේතුවක් වූයේ ස්ටීවන් විසින් ගෙදර වැඩට සිටි ජෙසී නැමති කාන්තාව සමග ඇති කරගෙන තිබූවා යැයි කියනු ලබන අනියම් සම්බන්ධයක් පිළිබදවය. පසුව සෙනෙවිරත්න මහත්මිය විසින් මෙම කාන්තාව පන්නා දමා ඇති නමුත් ස්ටීවන් විසින් ඇයව නැවත නාවල පිහිටි වත්තේ සේවයේ යොදවා ඇත.
තවත් එක හේතුවක් වූයේ ස්ටීවන් විසින් සෙනවිරත්න මහත්මිය ගනන් නොගෙන සිටීමත් හා ඇය සමග පිළිසදරක් නොමැතිව වෙන්ව ඉදීමට නිතරම උත්සහ කිරීමයි. මෙම සියලු කරුණු කාරණා නඩු විභාගයේදී ඉදිරිපත් වූ සෙනවිරත්න මහත්මිය විසින් ස්ටීවන්ට ලියා තිබූ ලිපි මගින් තහවුරු වේ. ඇය පුරුද්දක් වශයෙන් තම ස්වාමියාට ඇති අකමැත්ත ලියුම් මගින් ලියා ඔහුට දීම පුරුද්දක් වී තිබී ඇත. එම ලිපි වල ඇය බොහෝවිට සියදිවි නසාගන්නා බවට කියමින් තර්ජනය කර ඇත. 
 
නමුත් ස්ටීවන් විසින් තම බිරිද වූ සෙනෙවිරත්න මහත්මියට වද හිංසාවකට හෝ පහරදීම් හෝ තර්ජනාත්මක බැන වැදීම් හෝ සිදුකර ඇති බවට කිසිදු සාක්ෂියක් මෙම නඩුවේදී අනාවරණය වී නැත.
ටෙරන්ස් දරුවා ඔහුගේ තාත්තාට සමීප වූ අයෙකි. එයට හේතුව සෙනවිරත්න මහත්මිය නිතරම ඔහුට ගුටි තැලීමයි. ඇය කෙසේ හෝ තම පවුල් ජීවිතයේ තිබූ ප්‍රශ්න හේතුවෙන් දැඩි පීඩනයකින් කල් ගෙවා ඇති බව පෙනී යයි. එම පීඩනය ටෙරන්ස් පිටින් පිටකර දැමීමටද ඇය කටයුතු කර ඇත. තවද ස්ටීවන් සහ ටෙරන්ස්, ස්ටීවන්ගේ නැගණියක් වූ ෆ්රැන්සිස් සෙනවිරත්න බැහැදැකීමට වේයන්ගොඩට යාම ගැනද සෙනවිරත්න මහත්මිය අමනාපයෙන් පසු විය. ඇය පුරුද්දක් වශයෙන් තම ස්වාමියා සමග රණ්ඩු වූ විට කාමරයට ගොස් දොර වසාගෙන නොකා නොබී සිටීමට තරම් හිතුවක්කාර වූ තැනැත්තියකි.
මරණය සිදුවීමට මාස දෙක හමාරකට පමන පෙර ස්ටීවන් විසින් හලාවත ඔහුට අයිති වත්තේ සිටින හරකෙකුගේ කකුලක ශල්‍යකර්මයක් කිරීම සදහා ක්ලෝරෝෆෝම් බෝතලයක් මිලදී ගෙන ඇති නමුත් ඒ සදහා එය පාවිච්චි කර නැත. පසුව එය බංගලාවට ගෙනවිත් තම බිරිද වූ සෙනවිරත්න මහත්මියට ලබා දී ඇත.
මරණයට සති හයකට පමණ පෙර චාල්ස් සෙනෙවිරත්න නම් නැදෑ තැනැත්තියක් සමග ඇය පවසා ඇත්තේ තමාට ක්ලොරෝෆෝම් භාවිතා කර සිය දිවි නසා ගැනීමට සිතෙන බවයි.
සෙනෙවිරත්න මහත්මිය මිය යාමට පෙර දින රාත්‍රියේ ද සෙරම් මහතා සහ මහත්මිය නිවසට පැමිණ කතා බහක යෙදී සිටියහ. එදින රාත්‍රියේ ස්ටීවන් මහතා ටෙරන්ස් දරුවත් රැගෙන ඔහුගේ නැගණියක් වූ ෆ්රැන්සින් සෙනවිරත්නගේ ගෙදර ගොස් සිටි අතර ඒ හේතුවෙන් සෙනවිරත්න මහත්මිය තම සැමියා සමග කෝපයෙන් පසු වී හිද ඇත.
කෙසේ හෝ මෙදින රාත්‍රියේ ඇය ඇගේ සේවක ඇල්පිනා සමග නින්දා ගැනීමට ගියාය. එදින රාත්‍රියේ වැසිබර කාලගුණයක් පැවති නිසා එක්වරක් අවදි වී ජනෙල් පියන් වසන ලෙස ඇල්පිනාට කීය. තවත් වරක් අවදි වී වතුර බී නැවත නිදාගත් බවත් පසුව ඇල්පිනා පාන්දර 6.00ට පමණ අවදි වී නානකාමරයට ගොස් නැවත කාමරයට පැමිණිවිට සෙනෙවිරත්න මහත්මිය අනෙක් පස හැරී නිදාගෙන සිටි බවත් පසුව කාමරයේ දොර මදක් විවරව තමා උදෑසන ආහාරය පිසීම සදහා කුස්සිය වෙත පිටත්ව ගිය බවත් ඇයගේ සාක්ෂියේදී ඇය පවසා ඇත.
විනාඩි 15 කට 20 කට පසුව අවුරුදු 15ක් වයස ඇති සීලාස් නැමති සේවකයා සහ රියදුරු පෙරේරා පැමිණ ඇල්පිනාට පවසා ඇත්තේ සෙනෙවිරත්න මහත්මිය ඇයව සොයන බවයි. පසුව ඇය කාමරයට ගොස් බලන විට සෙනෙවිරත්න මහත්මිය හිස බිත්තියට වන සේත් කකුල් දෙක ඇදෙන් පහලට වැටන සේත් ඇදේ හරහට සිහිසුන් ව වැටී සිටිනු දැක අතර ඇද මත යමක් තැවරී තිබූ ලේන්සුවක් ද දැක්කා ය. තවද ඇය කාමරයට එන විට ස්ටීවන් හෙවත් මිය ගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා ටෙරන්ස්ගේ කාමරයේ සිට එන බව දැක්කා ය. මේ අවස්ථාවේදී ඇල්පිනාට විෂ ද්‍රව්‍යයක හෝ තෙල් වැනි ද්‍රව්‍යයක ගදක් වහනය වූ බව ඇය තව දුරටත් සාක්ෂි ලබා දෙමින් පවසා ඇත.
පසුව ස්ටීවන් සහ මැය විසින් පොතකින් පවන් ගසමින්, බ්රැන්ඩි සහ උණු වතුර පෙවීමට උත්සහ කරමින් සහ කෘතීම ස්වසනය ලබා දෙමින් සෙනෙවිරත්න මහත්මිය අවදි කිරීමට උත්සහ දරා ඇති නමුත් එයින් ඵලක් වී නැත. ස්ටීවන් මහතාගේ අණ පරිදි සයිමන් නැමති සේවකයා රියදුරු පෙරේරා සමග ගොස් බණ්ඩාරනායක මහත්මිය සහ වෛද්‍ය පෝල් කැදවාගෙන ඒමට පිටත්වූ අතර 7.30ට පමණ සියලු දෙනා පැමිණ ඇත.
ටෙරන්ස් සමග නිදාගෙන සිටි ඔහුගේ හෙදිය වූ මාබෙල් ජෝසප් නැමති කාන්තාවද ඇයගේ සාක්ෂියේදී පවසා ඇත්තේ ඇය පාන්දර 6.00 පමණ අවදි වූ බවත් එවිට සෙනෙවිරත්න මහත්මිය ඇගේ දෑත් හිස ලග තබාගෙන ඇදේ නිදාගෙන සිටි බවත් පසුව 6.30ට පමණ ඇය පල්ලියට යාමට පිටව ගිය බවත් ය.
සීලාස් ගේ සාක්ෂියට අනුව ඔහු පවසා ඇත්තේ ඔහු 6.00ට පමණ අවදි වූ බවත් ස්ටීවන් මහතා සහ සේවක මාටීන් කුරුල්ලන්ට කෑම දමමින් බංගලාව පිටිපස වැරැන්ඩා පෙදෙසට වී සිටි බවයි. තවදුරටත් මොහු කියා ඇත්තේ ස්ටීවන් මහතාට සෙනවිරත්න මහත්මියගේ කාමරයට යනවා ඔහු දැක්කේ නැති බවත් ඔහුගේ ඇසට නොගැටී කාමරයට යාමට අවකාශයක් නොතිබූ බවත් ය. මාටීන් මෙය තහවුරු කර ඇත.
ස්ටීවන් සෙනෙවිරත්න පවසා ඇත්තේ ටෙරන්ස්ගේ කාමරය දෙසින් ශබ්දය ඇසෙන බව දැනී පළමුව ඔහුගේ කාමරයට ඇතුල් වී පසුව බිරිදගේ කාමරයට ඇතුල් වූ බවයි.
වෛද්‍ය පෝල්ගේ සාක්ෂියට අනුව ඔහු උදෑසන 7.30ට පමණ සිදුවීම සිදු වූ ස්ථානයට පැමිණි අතර ස්ටීවන් එම මොහොතේ කාමරයෙන් පිටවී ගොස් ඇත. එහිදී ඔහු විසින් සෙනවිරත්න මහත්මිය මිය ගොස් ඇති බවත් මරණය 6.30ට පමණ සිදූ වී ඇති බවත් මරණයට හේතුව අධික මාත්‍රයකින් යුතු ඇස්පිරීන් පෙති පානය කර ඇති බවත් නිගමනය කර ඇත. එයට හේතුව වන්නේ මේ මොහොතේ ඇයගේ මේසය මත ඇස්පිරීන් බොතලයක් තිබී සොයාගැනීමෙන් අනතුරුවය. මොහු ස්ටීවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ පෙර දින රාත්‍රියේ මැයට හිසේ කැක්කුමක් ඇති බව පැවසූ නිසා ඔහු විසින් ඇස්ප්රින් බෝතලයක් ගෙන දුන් බවත් ය. එම බෝතලයේ ඇස්ප්රින් 25ක් පමණ තිබිය යුතුව තිබුණද එම මොහොතේ ඇස්ප්රින් 9ක් පමණ තිබූ බවත් වෛද්‍යවරයා තවදුරටත් නිරීක්ෂණය කර ඇත. මුහුණේ යම් තැලුම් ලකුණු තිබී ඇති බවත් එම ලකුණු භාවිතා කල බ්රැන්ඩි සහ උණුවතුර හේතුවෙන් මතුවී ඇති බව තවදුරටත් නිගමනය කල බව වෛද්‍යවරයාගේ සාක්ෂියේ දී තවදුරටත් පවසා ඇත. 
 
වෛද්‍ය පෝල්ගේ පුතා වන වෛද්‍ය මිල්රෝයී පෝල් විසින් එදින දවල් කාලයෙන් පසුව මියගිය සෙනෙවිරත්න මහත්මියගේ මෘත දේහය කුණුවීමෙන් ආරක්ෂා කර ගැනීමට ෆෝමලීන් එන්නත් කර පසු දින එනම් 16 වන දින දේහය මිහිදන් කර අවසන් ගෞරව කටයුතු සිදු කර ඇත.
නමුත් මැයගේ සහෝදරයෙකු වූ ද අල්විස් හට මෙම මරණය සැක බවත් මරණයට වගකිව යුත්තේ ඇයගේ ස්වාමිපුරුෂයා බවත් පැමිණිලි කර ඇති අතර ඒ අනුව නොවැම්බර් 7 වන දින මෘත ශරීරය නැවත ගොඩ ගෙන මරණ පරීක්ෂණ ආරම්භ කලහ. මරණ පරීක්ෂණය සිදුකරන ලද්දේ ෆෝමලීන් එන්නත් කල මෘත දේහය දින 24ක පමන කාලයක් පොළොව යට වල දමා තිබුවායින් පසුව වේ. මේ නඩුවේදී වෛද්‍යවරැන් කිහිප දෙනෙකු මේ සම්බන්ධව අදහස් දක්වා ඇති නමුත් බොහෝ දෙනාගේ අදහස වූයේ මෙම මරණය ස්වසනයට O2 අඩු වීම හේතුවෙන් හටගන්නා Asphyxia තත්වය නිසා හෝ Syncope හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවත්, එය ක්ලෝරෝෆෝම් නිසා ඇති වූ තත්වයක් විය හැකි බවත්, මුහුණේ සහ අතේ යම් ප්‍රදේශ වල තිබූ තැලුම් හෝ පිලිස්සුණු ලකුණු ක්ලෝරෝෆෝම් දියරය නිසා විය හැකි බවත්. ඒ සදහා ලේන්සුව බලෙන් තද කිරීමෙන් බලයක් සම මත යෙදීමක් නොමැතිව වුවද ක්ලෝරෝෆෝම් වලට පිලිස්සීමට හැකියාවක් පවතින බවත් ය.
නමුත් කිසිදු වෛද්‍ය සාක්ෂියක් මගින් මෙය සියදිවි නසා ගැනීමක්ද නැති නම් ස්ටීවන් හෝ වෙනත් තැනැත්තෙකු විසින් ක්ලෝරෝෆෝම් භාවිතා කර සිදුකරන ලද ඝාතනයක් ද යන්න අනාවරණය වී නැත.
 
කෙසේ හෝ ප්‍රිවි කවුන්සලය (එකල අධිකරණ පද්ධතිය අනූව තිබු අධිකරණයකි‍) මගින් මෙහි ඇති සියලුම සාක්ෂි සලකා බලා පෙන්වාදී ඇත්තේ මෙහිදී පුද්ගලයන් ලබා දුන් සාක්ෂිවල (බොහෝ සේවකයන්) නිරවද්‍යතාවය පිළිබදව ගැටලුවක් පැන නැගී ඇති බවත් මෙහි ඇතැම් ප්‍රබල සාක්ෂි “Hearsay Evidence” යටතට වැටෙන අතර එවැනි සාක්ෂි ඔප්පු කිරීමක් නොමැතිව පිළිගත හැකි නොවන බවත් ය. (Hearsay Evidence යනු තවකෙනෙකු විසින් තම පංච ඉන්ද්‍රීයන්ට ඝෝචර වන යමක් ඔහුගෙන් අසාගෙන ඇවිත් හෝ ඇසී හෝ ගරු අධිකරණයක් හමුවේ ප්‍රකාශ කිරීමයි. )
 
එවැනි ප්‍රකාශයක් නිකුත් කරන්නේ නම් එය ඝෝචර වූ තැනැත්තා සාක්ෂි ලෙස කැදවා එහි නිරවද්‍යතාවය තහවුරු කල යුතුය. නැතහොත් එවැනි සාක්ෂි පිළිගත නොහැකි සාක්ෂි යටතට වැටේ. (Inadmissible Evidence) 
 
 
 
“LORD ROCHE states that,
Evidence of former statements by a witness cannot be given without previous cross-examination of the witness as to such statements. The prosecution is not bound to call witnesses irrespective of considerations of number and of reliability.”
“When any fact is especially within the knowledge of any person the burden of proving that fact is upon him.”
 
තවද වෛද්‍ය සාක්ෂි වලද එකිනෙකට පරස්පර අදහස් දැක්වීම් ඇති අතර ඒ හේතුවෙන් මරණය සිදු වූ ආකාරය පිළිබද හා මුහුණේ ඇති වී තිබූ පිලිස්සුම් තුවාල ඝාතනයට තැත් කිරීමකදී වූ ඒවාද නැතහොත් ඇය විසින්ම ලේන්සුවෙන් ක්ලෝරෝෆෝම් ආඝ්‍රාහණය කලාද නැද්ද යන්න පිලිබද පැහැදිලි සාක්ෂියක් නොමැති බවත් තවදුරටත් පෙන්වාදී ඇත.
තවද පහළ අධිකරණයේ ගරු විනිසුරුවරයා විසින් ජූරියට මෙම කරුණු පහදා දීමට අපොහොසත් වීම මත මෙම තීන්දුව ජූරිය විසින් ලබා දී ඇති බැවින් ස්ටීවන් හෙවත් මෙම අභියාචනාණයේ චූදිත අභියාචකව ප්‍රිවි කවුන්සලය මගින් ඒකමතිකව සියලු දණ්ඩනයන්ගෙන් නිදොස් කොට නිදහස් කලහ.
මෙසේ සාක්ෂි මදිකම සහ පරස්පර විරෝධී වීම හේතුවෙන් හරි හැටි හෙළිදරව් නොවූ අභිරහස් මරණ විශාල ප්‍රමාණයක් ලංකාවේ අධිකරණය පද්ධතිය තුල දැක ගත හැකිය.

Post a Comment

0 Comments